FAQs

ජාතික ජන බලවේගය නිතර ඇසෙන ප්‍රශ්න හා පිලිතුරු

පහත සඳහන් ප්‍රශ්න උත්තර මාලාව දැනට ජාතික ජන බලවේගයට ඇති සමාජ අවධානය හමුවේ සිදුවන සාකච්ඡාවලදී පැන නැගෙන පැනයන් පදනම් කරගනිමින් සකස් කර ඇත. යම් දෙගිඩියාවන් හා පැනයන් ජාතික ජන බලවේගය වෙත අලුතින් එක්වීමට සිතන අය තුලින් මෙන්ම ජාතික ජන බලවේගය හා දැනටමත් සම්බන්ධ අය තුලින් ද පැන නගී. පහත ඇති පිලිතුරු යම් ආකාරයක පැහැදිලිභාවයක් හා ආත්ම විශ්වාසයක් එම කණ්ඩායම් දෙක තුලම ඇති කරනු ඇත. මෙම පැනයන් හා පිලිතුරු ජාතික ජන බලවේගයේ වැඩපිලිවෙල, එය වත්මන් දේශපාලන මොහොත තුල ස්ථානගතව ඇති ආකාරය හා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම පිණිස අපගේ දායකත්වයේ වැදගත්කම පැහැදිලි කරයි.

***

1. ජාතික ජන බලවේගය (NPP) යනු කුමක්ද?

ජාතික ජන බලවේගය යනු දේශපාලන ව්‍යාපාරයකි. ඔලු ගෙඩි මාරුවක් වෙනුවට ලාංකීය සමාජයේ යහපත් ව්‍යුහාත්මක වෙනසක්, යහපත් ක්‍රම වෙනසක් වෙනුවෙන් පෙනී සිටින, සියලු ජනයාට එක්ව වැඩ කිරීමට පිහිටවූ අවකාශයකි. මැතිවරණවලට පෙනී සිටීම පමණක් නොව, ජනයා බල ගන්වමින් සමාජ වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීම අපේක්ෂාව කරගත් සමාජ ව්‍යාපාරයකි. ප්‍රධාන පක්ෂවල දේශපාලන නායකයන්, රාජ්‍ය සේවය, ව්‍යාපාරික හා මාධ්‍ය ක්ෂේත්‍රය බඳු අංශවල මුල් බැස ගෙන සිටින, මෙරට අගාධයට යැවීම සඳහා වග කිව යුතු සුලුතරයකින් යුක්ත දූෂිත වලල්ලේ ආධිපත්‍යයෙන් ලංකාව මුදාගෙන, රට දියුණුව කරා ගෙන යාම ජාතික ජන බලවේගයේ අරමුණ වේ.

2. ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධය කවරාකාරද?

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ යනු එකක් නොව දෙකකි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ ඇති දේශපාලන පක්ෂයක් ලෙස ඇති ප්‍රබලතම පක්ෂයයි. එහෙත් ජාතික ජන බලවේගය යනු පක්ෂ නොවන, තවත් දේශපාලන හා සිවිල් කණ්ඩායම් ගණනාවක එකතුවකින් සැදුම් ලද දේශපාලන ව්‍යාපාරයකි. ජාතික ජන බලවේගයෙහි තීන්දු ගන්නා කමිටුව කණ්ඩායම්වල විශාලත්වය සැලකිල්ලට නොගනිමින්, එය නියෝජනය කරන ලොකු කුඩා සියලු කණ්ඩායම්, පක්ෂ හා ව්‍යාපාරය සඳහා නියෝජිතයන් දෙදෙනක් බැගින් සහභාගි කරගනී. ඒ අතරම පිලිගත යුතු කාරණයක් නම් ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය සමාජය හමුවේ ගොඩනැගෙද්දී එයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිරූපය ධනාත්මක ලෙස බලපා ඇති බවයි. ජාතික ජන බලවේගය අවුරුදු හැත්තෑ ගණාවක භාවිතයට තිත තබමින් අදූෂිත පාලනයක් හඳුන්වා දීමට යෝජනා කරන විට එයට වලංගුභාවයක් ලැබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි විනයක් සහිත අදූෂිත භාවිතය හේතුවෙනි. ජනතා විමුක්ති පෙරමුණෙහි පක්ෂ යාන්ත්‍රණයේ සංවිධානාත්මකභාවයද, ජාතික ජන බලවේගයේ සංවිධානාත්මකභාවය පිලිබඳ ප්‍රතිරූපය ඉහල දැමීමට හේතු වී තිබේ.

3. ජාතික ජන බලවේගය විසින් ගොඩනැගීමට නියමිත ලංකාව කවර ආකාරයේ එකක්ද?

ධනවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී ලෙස ලේබලයකින් හඳුන්වා දෙනවාට වඩා ජාතික ජන බලවේගය අපේක්ෂා කරන සමාජයේ මූලික ලක්ෂණ හඳුන්වා දීම වඩා අර්ථාන්විත විය හැකිය.

ජාතික ජන බලවේගයේ මැදිහත්වීමෙන් බිහිවන ලංකාවක මූලික ලක්ෂණ මෙසේය :

(A) අදූෂිත, විනයක් සහිත, අතිශය සංවිධානාත්මක කේන්ද්‍රයක් සහිත ජාතික ජන බලවේගයේ පාලනයක් විසින් ලංකාවේ දැනට සාපයක්ව පවතින ඉහල සිට පහලටම වන දූෂිත දේශපාලන සංස්කෘතියේ තීරණාත්මක වෙනසක් ඇති කරනු ඇත. මෙවන් අදූෂිත පාලනයක් නිසා පුලුල් පරාසයක ප්‍රතිලාභ සමූහයක් ලාංකීය සමාජය වෙත ලැබෙනු ඇත. ලංකාව සංවර්ධනය දිශාව වෙත ගෙන යාම සඳහා පදනමක් සැපයෙනු ඇත. 

(B) බිහිවන ආර්ථිකය රාජ්‍ය හා පෞද්ගලික අංශ ක්‍රියාකාරීව දායක වන ආර්ථිකයකි. 

(C) සේවා ආර්ථිකය පවත්වාගෙන යන අතරම, සේවා ආර්ථිකයේ සිට නිෂ්පාදන ආර්ථිකයක් කරා හැරීමේ තීරණාත්මක පියවර ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගැනෙනු ඇත. මෙහිදී අප රට සතුව ඇති සම්පත් හා සම්බන්ධ කර්මාන්ත ඇති කිරීම මෙන්ම, රටේ ජනයාගේ මූලික අවශ්‍යතා (උදා- ආහාර, කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය, සෞඛ්‍යය) ඉටු කරගැනීම පිණිස ඇවැසි කර්මාන්තවල දියුණුව ලගා කරගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වනු ඇත. 

(D) ජනයාගේ දේශපාලන මැදිහත්වීම ඡන්දය පල කිරීමට සීමාවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට හානිකරය යන පදනම මත පිහිටා සිට, ජාතික ජන බලවේගයේ පාලනයක් යට‍තේ ජනයා සක්‍රීය දේශපාලනයට අඛණ්ඩව මැදිහත් කරවීමේ සංස්කෘතියක් ඇති කරනු ඇත. 

(E) දැනට ලාංකීය සමාජය තුල තීව්‍රව ඇති ඇති නැති පරතරය නැති කරනු වස් හා ආර්ථිකමය වශයෙන් ආන්තික සමාජ කණ්ඩායම් රැක ගනු පිණිස ශක්තිමත් සමාජ සුබසාධන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත. 

(F) ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විදේශ රටවල් සමග සම්බන්ධතා ප්‍රශස්ත අයුරින් පවත්වා ගෙන යාමට සෑම උත්සාහයක්ම දරනු ලැබේ. මෑතකාලීන පාලකයන්ගේ මුග්ධභාවය නිසා දැනටමත් විවිධ බලවත් රාජ්‍යයන්ගේ අතකොලුවක් බවට පත්ව ඇති තත්වයක් තුල මෙය පහසු කටයුත්තක් නොවන අතර එසේ වුවද එම කටයුත්ත උපක්‍රමශීලීව කරනු ඇත. දූෂණයෙන් තොර පාලනයක් යටතේ ඇති විය හැකි අභ්‍යන්තර ස්ථාවරත්වය හා ඒ නිසාම ඇති විය හැකි රාජ්‍ය ප්‍රතිරූපයේ ඉහල යාම මෙසේ විදෙස් රටවල් සමග ප්‍රශස්ත ගනුදෙනුවක් කිරීමට උදවු වනු ඇත. 

(G) අධ්‍යාපනය, සෞඛ්‍යය හා ප්‍රවාහනය යන රටේ ජනජීවිතය හා තදින් බැඳුනු ක්ෂේත්‍රයන්හි සියලු ජනයාට සමාන අවස්ථා ඇති වනු පිණිස රාජ්‍ය අංශයේ මැදිහත්වීම ශක්තිමත් කරනු ඇත. 

(H) කිසිදු ජනවර්ගයක ආධිපත්‍යය අනෙක් ජනවර්ගයන් මත පැටවීමට ඉඩ නොතබන, ජනවර්ග අතර අන්‍යොන්‍ය ගෞරවය මත පදනම් වූ සමාජයක් බිහිකිරීමට අඩිතාලම සැපයෙනු ඇත. විශේෂයෙන් සුලු ජනවර්ගයන් තුල ලාංකීය රාජ්‍යය පිලිබඳ විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනෙනු ඇත. 

(I)  පාලකයන් දේවත්වයේ ලා සැලකෙන, වැසියන් ඔවුන්ට වැඳ පුදන නිවට තත්වයේ පසුවන පාලක-යටත් වැසි සම්බන්ධතාවය වෙනස් කරමින්, රටක ඡන්දයකින් අවුරුදු කීපයකට පත්වන්නේ ජනතා සේවකයන්ය යන අදහස හා ඡන්දදායකයන් යනු තමන්ගේ බලය ඡන්දයකදී දේශපාලන කණ්ඩායමකට තාවකාලිකව ලබාදෙන අභිමානවත් පුරවැසියන් යන අදහස ස්ථාපිත කරනු ඇත. 

(J) පරිසරය සමග සහජීවනය ලොව අනාගත ගමන් දිශාව ලෙස පිලිගන්නා ජාතික ජන බලවේගය තව අවුරුදු 20-30 කාලය තුල එවන් සංහිඳියාවෙන් යුත් සමාජයක් ඇති කරගනු පිණිස ක්‍රමවත් ගමනක් අරඹනු ඇත.

4. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? එය පෞද්ගලික අංශයට විරුද්ධද?

ආර්ථිකයට සියලු ජනයා සක්‍රීයව සම්බන්ධ වන, ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයක් ඇති කිරීම ජාතික ජන බලවේගයේ අරමුණයි. මෙබඳු ක්‍රමයක් ඇති කිරීමේ දී ආර්ථිකය ගමන් කල යුතු සමස්ත දිශාව පිලිබඳ සැලසුම් සකස් කරමින්, ඊට නායකත්වය දීමේ වගකීම රජය සතු වේ. රජය විසින් සකස් කරන ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුල පෞද්ගලික අංශයේ දායකත්වය පිලිගන්නවා පමණක් නොව, ඊට අදාල පහසුකම් ලබාදෙමින් දිරිමත් කිරීම ද රජය විසින් සිදු කරනු ඇත. මේ නිසා ජාතික ජන බලවේගය පෞද්ගලික අංශයට විරුද්ධ බවට වූ මතය මිථ්‍යාවකි. විශේෂයෙන්ම මේ රටේ පෞද්ගලික අංශයට අයත් වන සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම රටේ ආර්ථිකය සඳහා බෙහෙවින් වැදගත් බව ජාතික ජන බලවේගය පිලිගනී. ඒ සඳහා අවශ්‍ය පහසුකම්, තොරතුරු ආදිය ලබාදෙමින් මෙම ව්‍යාපාර ශක්තිමත් කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කටයුතු කරනු ඇත. මේ අතර බලශක්ති ක්ෂේත්‍රය, මූල්‍ය අංශය බඳු ආර්ථිකයේ තීරණාත්මක කේන්ද්‍රස්ථානවල වැඩි අයිතිය රජය අත පවතිනු ඇත.

5. ලංකාව දැනට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේද?

මේ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍යයයි. ඒ කවර ක්‍රියාමාර්ගයක් ගැනීමටත් අවශ්‍ය කරන කොන්දේසිය නම් ජනතාවගේ විශ්වාසය දිනාගත්, ජනවරමක් තිබෙන, ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක් බලයට පත්වීමයි. එවැනි ආණ්ඩුවකින් තොරව කිසිදු ආර්ථික ක්‍රියාමාර්ගයක් සාර්ථක වන්නේ නැත.

 

කෙටිකාලීනව ගත් විට, ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදය විසඳා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කල හැක : ණය ගෙවීම කල් දමා ගැනීම සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීම, මූල්‍ය පහසුකම් ලබා ගත හැකි දැ’යි තුන්වන පාර්ශවයක් සමග සාකච්ඡා කිරීම, විදේශගත ශ්‍රමිකයන් රටට එවන විනිමය ඉහල දමා ගැනීමට කටයුතු කිරීම, සංචාරක කර්මාන්තයේ ක්ෂණික පිම්මක් සඳහා සැලසුම් සකස් කිරීම හා රටේ පරිභෝජන රටාව තුල අවශ්‍ය වන ආකාරයේ වෙනස්කම් සිදුකරගැනීම. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ඉටු කරගත හැකි යැයි අපි සිතමු. නිදසුන් ලෙස, රට තුල වංචා දූෂණයෙන් තොර, දැක්මක් සහිත ආණ්ඩුවක් බලයට පත්වන විට රටට ආධාර කිරීම සඳහා විදේශගත ලාංකික ප්‍රජාව තුල විශ්වාසයක් ගොඩනැගෙනු ඇත. මන්ද ඔවුන් එවනු ලබන මුදල් සොරකම් නොකොට, රටේ දියුණුව සඳහා යෙද වේ යන සහතිකය තහවුරු වන නිසාය. ආර්ථික ක්‍රියාමාර්ග සාර්ථක වීමට නම්, දේශපාලනයේ වෙනසක් විය යුතු යැයි අප කියන්නේ එම නිසාය.

 

මීට අමතරව, දිගුකාලීනව ගත් විට, යලිත් ණය අර්බුදයක් ඇති නොවීමට නම් රටේ ජාතික නිෂ්පාදනය ශක්තිමත් කෙරෙන, නිෂ්පාදන ආර්ථිකයක් වෙත ලංකාව මාරු විය යුතුය. ඒ සඳහා අවශ්‍ය පදනම දැමීමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කටයුතු කෙරෙනු ඇත.

6. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධව ජාතික ජන බලවේගය දරන ස්ථාවරය කුමක්ද?

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පලමුව ජාතික සැලැස්මක් අවශ්‍ය වේ. ලෝකයේ කවර ආයතනයක් සමග වුව ගනුදෙනු කිරීමට පෙර මෙම ජාතික සැලැස්ම ඇති කරගැනීම වැදගත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිලිබඳ අන්ධ විශ්වාසයක් ජාතික ජන බලවේගය තුල නැත. ජාත්‍යන්තර අත්දැකීම් ගත් විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් නිසා පැවැති ආර්ථික අර්බුද තවත් ව්‍යාකූල වූ අවස්ථා ගැන උදාහරණ පවතී. කෙසේ වුවද, ජාතික සැලැස්මක් යටතේ ද්විපාර්ශවීය හා බහු පාර්ශවීය ආධාර ලබාගැනීම සම්බන්ධව ජාතික ජන බලවේගය විවෘතය. මේ අනුව බහුපාර්ශවීය සංවිධානයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවේ. ජාතික සැලැස්මක් මත සිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් නොව කවර හෝ බහුපාර්ශවීය සංවිධානයක් සමග ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විවෘතය.

7. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කුමක්ද? පෞද්ගලික අධ්‍යාපනයට ජාතික ජන බලවේගය විරුද්ධද?

සියලුම පුරවැසියන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමේ වගකීම රාජ්‍යය සතුය. අධ්‍යාපනය සඳහා සම ප‍්‍රවේශය පමණක් නොව අධ්‍යාපනයේ තත්වය හා ගුණාත්මක බවද තහවුරු කිරීම රජයේ වගකීමය. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ 1 වසරට ඇතුළත් වන දරුවා 13 වසර තෙක් ගෙනයාමටත්, ඉන් අනතුරුව තම කැමැත්ත සහ හැකියාව අනුව වෘත්තීය හෝ ශාස්ත‍්‍රීය අංශ තුළ දරුවාට උසස් අධ්‍යාපනය ලබා දීම උදෙසා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමත්ය. මේ සඳහා රාජ්‍ය අධ්‍යාපනය සඳහා උපරිම ආයෝජනය සිදු කරමින්, අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට කටයුතු කෙරෙනු ඇත. 

 

පසුගිය දශක ගණනාව පුරාවට රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට නිසි අවධානය ලබා දීම පැහැර හැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පුද්ගලික අධ්‍යාපන ක්ෂේත‍්‍රයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇත. අධ්‍යාපනයේ ගුණාත්මකභාවයත්, අධ්‍යාපන සඳහා සම අයිතියත් තහවුරු කල හැක්කේ රජය විසින් අධ්‍යාපනය තහවුරු කෙරෙන ක්‍රමයක් තුල බව අපගේ විශ්වාසයයි. නමුත් එවැනි තත්වයක් ඇති කිරීම සඳහා යම් කාලයක් ගත වනු ඇත. ඒ අතර වන සංක්‍රමණීය කාලය තුල රාජ්‍ය අධ්‍යාපනයේ තත්වය හා ගුණාත්මක බව ඉහල දැමීමට අවශ්‍ය පියවර ගන්නා අතර, දැනට ලංකාවේ ස්ථාපිතව ඇති පුද්ගලික අධ්‍යාපන ක්ෂේත‍්‍රය නිශ්චිත ලෙස  නියාමනයට භාජනය කරමින් අපගේ ජාතික අධ්‍යාපන සැලසුමට අනුගත කරනු ඇත. රාජ්‍ය අධ්‍යාපනය දියුණු කිරීමෙන් අනතුරුව වුවද යම් දරුවෙකුට පුද්ගලික අධ්‍යාපනයට ප‍්‍රවේශ වීමට අවශ්‍ය නම් එම තෝරා ගැනීමේ අයිතිය අප ප‍්‍රතික්ෂේප කරන්නේ නැත.

8. රාජ්‍ය සේවය පිළිබඳ ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්තිය කුමක්ද? ජාතික ජන බලවේගයේ රජයක් යටතේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ලක් කෙරේද?

කලින් සඳහන් කල ලෙස, ආර්ථිකයේ කේන්ද්‍රස්ථානවලට අදාල රාජ්‍ය අයිතිය පැවැතිය යුතු බව ජාතික ජන බලවේගයේ මතයයි. මෙම ආයතන පෞද්ගලීකරණය කරනු වෙනුවට, ඒවායේ පවතින කලමණාකරනයේ ගැටලු, දේශපාලන ඇගිලි ගැසීම් ආදිය තුරන් කොට කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. දැනට පවතින රාජ්‍ය ආයතනවල යම් යම් අකාර්යක්ෂමතාවලට හේතු වන මූලික ගැටළු දෙකක් අප හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න නම් රාජ්‍ය සේවය අතිශය ලෙස දේශපාලනීකරණය වී තිබීමය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මෙම දේශපාලනීකරණය අවසන් කෙරෙනු ඇත. ස්වාධීනත්වය සහිතව කටයුතු කල හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කෙරෙනු ඇත. දෙවැන්න නම්, රාජ්‍ය සේවකයින්ට ඔවුන් ලබා දෙන සේවයට නිසි දිරි ගැන්වීමක්, අභිප්‍රේරණයක්, හෝ අර්ථවත් අරමුණක් ලබා දීමට රාජ්‍යය අසමත් වීමය. දේශපාලන නායකයන් දූෂිත ලෙස කටයුතු කරන විට, රාජ්‍ය සේවකයන් අවංකව කටයුතු කරනු ඇතැ’යි අපේක්ෂා කල නොහැක. රට වෙනුවෙන් කැප වී කටයුතු කරන, ආදර්ශයෙන් කැප කිරීම් කරන දේශපාලන නායකත්වයක් යටතේ කාර්යක්ෂම ලෙස සේවය  කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම රාජ්‍ය සේවකයන් වෙත ලබා දිය හැකි යැයි අපි විශ්වාස කරමු. 

9. ජාතික ජන බලවේගයේ විදෙස් ප්‍රතිපත්තිය කුමක්ද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විදෙස් පිලිගැනීම ලංකාවට ලැබේද?

ජාතික ජන බලවේගය ලොව සියලු රාජ්‍යයන්, විශේෂයෙන් අප ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩා සමීප රාජ්‍යයන් සමග යහපත් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියක පිහිටා ඇත. දර්ශනයක් ඇති, ඉදිරි දැක්මක් ඇති, සෘජු, සුජාත රාජ්‍යයකට රටේ ජනයාගේ අවශ්‍යතා රැකෙනා පරිදි විදේශයන් සමග රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යා හැකිය යන්න ජාතික ජන බලවේගයේ විශ්වාසයයි. එය පසුගිය හා දැනට ඇති ආණ්ඩු පවත්වාගෙන යන නිවට ප්‍රතිපත්තියෙන්, මිත්‍රශීලී ප්‍රතිපත්තියකට මාරු වීමකි. නිවැරදි දේශපාලන නායකත්වයක් ඇති එහෙත් අනවශ්‍ය දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොර වෘත්තීමය තානාපති සේවයක් හරහා මෙම මිත්‍රශීලී රාජ්‍ය සම්බන්ධතා ගොඩනගා ගත හැකි වනු ඇත. රටක විදේශ සම්බන්ධතාවල සාර්ථකත්වය තීරණය වීමට එරට පවතින ආණ්ඩුව වෙත පවතින ප්‍රතිරූපය සැලකිය යුතු ලෙස බලපායි. අදූෂිත, අවංක නායකත්වයක් සහිත ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තුලින් ලෝකයාගේ අවධානය ලංකාව වෙත දිනාගත හැකි යැයි අපි විශ්වාස කරමු. 

10. ජාතික ප්‍රශ්නය සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද? 13 වන සංශෝධනය බලාත්මක කල යුතු යැයි ජාතික ජන බලවේගය විශ්වාස කරනවාද?

ප්‍රජාතන්ත්‍රවාදය හා සමාන අයිතිවාසිකම් ලබාදීමේ පදනම මත ජාතික සමගිය ගොඩනැගීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හඳුන්වා දෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුල රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන අතර, දේශපාලනමය හා පරිපාලනමය වශයෙන් සිදු කෙරෙන බලය බෙදීමක් තුලින් සුලුතර ජනවර්ගවල අයිතිවාසිකම් තහවුරු කිරීම සිදු කෙරෙනු ඇත. එබඳු ප්‍රතිසංස්කරණයක් සිදුවන තෙක්, දැනට රටේ නීතියේ කොටසක් බවට පත්ව තිබෙන 13 වන සංශෝධනය පවත්වා ගෙන යනු ඇත. 13 වන සංශෝධනය ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස අප පිලිගන්නේ නැත. එහෙත් 13 වන සංශෝධනය වෙනුවට, වෙනත් විසඳුමක් ලබා නොදෙන පසුබිමක් තුල එය අහෝසි කිරීම ජාතිකත්වයන් අතර ගැටුම් ඇති වීමට හේතු වනු ඇත. සියලුම ආකාරයේ ජාතිවාදයන්ට විරුද්ධ ජාතික ජන බලවේගය සමානාත්මතාවයේ පදනම මත ලාංකීය ජාතියක් ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටී. 

11. ජාතික ජන බලවේගය සමාජවාදී ව්‍යාපාරයක්ද?

සමාජවාදය යනු පුලුල් වශයෙන් ගත්කල, සමාජ සාධාරණත්වය හා මනුශ්‍යත්වය පිලිබඳ අදහසකි. ලාභය උපරිම කරගැනීම එකම ඉලක්කය කරගෙන ක්‍රියාත්මක වන වෙලඳපොලෙහි සාහසිකත්වය , මනුශ්‍යත්වය ගැන වන අසංවේදීත්වය සමනය කරන, සමාජ සාධාරණත්වය දිශාවට ලෝකය රැගෙන යන සියලු උත්සාහයන් සමාජවාදී උත්සාහයන්ය. සමාජ සාධාරණත්වය ඇති කරනු පිණිස ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය බඳු ක්‍රියාමාර්ග සමාජවාදී පොලොවක් මත බිහිවුණු මෙවලම් මිස ධනවාදී පොලොවක බිහිවුණු මෙවලම් නොවේ. මුදල් හා ලාභය උපරිම කරගනු පිණිස ක්‍රියාත්මක, බලවතාගේ ආධිපත්‍යය පිලිගන්නා, වියලි හා සාහසික ලෝකයකින් මෙහා පැත්තේ වන මානුෂිකත්වයේ එක් එක් මට්ට්මවල ඇති සමාජයන් යනු සමාජවාදී ගතිගුණයන් අඩු වැඩි වශයෙන් අන්තර්ගත්‍රහණය කරගත් සමාජයන්ය. ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති සකස් කරගන්නේ මේ සමාජවාදී මූලධර්ම ආශ්‍රයෙනි. එම මූලධර්මවල පදනම මත, යුගයේ හා ලෝක ආර්ථිකයේ සිදුව තිබෙන වෙනස්කම්වලට අනුකූල වන ලෙස නිර්මාණශීලී ලෙස ප්‍රායෝගික ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීම ජාතික ජන බලවේගය විසින් සිදු කරනු ලබයි. 

12. දූෂණය පිටුදැකීම තුලින් පමණක් රට ගොඩනැගිය හැකිද?

නිදහසින් පසුව ක්‍රම ක්‍රමයෙන් අප රට ගිලිගෙන ඇති දූෂණයෙන් ලාංකීය සමාජය ගලවාගත හැකි වඩාත්ම විශ්වසනීය බලවේගය ජාතික ජන බලවේගය බවට විවාදයක් නැත. දූෂිත දේශපාලන සංස්කෘතිය නැති කිරීමෙන් පමණක් රට ගොඩගත නොහැක. ඒ සඳහා විශ්වසනීය සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති අවශ්‍යයය. එහෙත් දූෂිත දේශපාලන සංස්කෘතියක් තුල විශ්වසනීය සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් ගැන සිතීමටවත් නොහැක. මේ නිසා දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් සිදුකිරීම රට ගොඩනැගීම සඳහා වන අත්‍යවශ්‍ය පලමු පියවර වේ. දැනට ජාතික ජන බලවේගය වෙත වර්ධනය වෙමින් පවතින ජන ආකර්ෂණය නිසා අර්බුදයට ගොස් ඇති කණ්ඩායම් ඒ නිසාම දූෂණය රටින් තුරන් කිරීම රට ගොඩ නැගීම සම්බන්ධයෙන් එතරම් වැදගත්කමක් නැති සාධකයක් ලෙස පෙන්වා සිටීමට උත්සාහ කරනු පෙනේ. දූෂණය පිටු දැකීම හරහා පමණක් ලංකාව ගොඩගත හැකි යැයි ජාතික ජන බලවේගය කිසි විටක ප්‍රකාශ කොට නැත. ඒ සඳහා අනුගමනය කල යුතු බහුවිධ ක්‍රියාමාර්ග ජාතික ජන බලවේගය විසින් රට හමුවේ නැවත නැවතත් ප්‍රකාශ කරන ඇත. එම කණ්ඩායම් ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන සඳහන් නොකර දූෂණ විරෝධය පමණක් ඉස්මතු කිරීමට ජාතික ජන බලවේගය නිසා බියට පත්ව ඇති ප්‍රමාණය පිලිබද සංඥාවකි. 

13. 88-89 සිදුවීම් පිලිබඳ ජාතික ජන බලවේගයේ මතය කුමක්ද?

ලේ වැගිරීම්, මිනීමැරීම්, මහා පරිමාණ දූෂණ වංචා, ජනයා මහා පරිමාණ ලෙස රැවටීම්වලින් ගහණ අතීතයක් ලංකාව සතුය. දකුණේ මෙන්ම උතුරේ ද ඇති වූ කැරලි එම සමාජ සන්දර්භය තුල එවකට පැවැති ආණ්ඩුවලට විරුද්ධව ඉච්ඡාභංගත්වයෙන් යුත් තරුණ පරම්පරාවක් සිදුකල ප්‍රතිචාරයන්ය. මෙම තරුණ මැදිහත්වීම්වල සාධාරණත්වය විනිශ්චය කල යුත්තේ එම සිදුවීම් හුදෙකලාව ගෙන ඒකපාර්ශවීය වශයෙන් නොව, එම සිදුවීම් ඒ පුලුල් සමාජ සන්දර්භය මත පිහිටුවමිනි. මෙසේ 88-89 එම සමාජ සන්දර්භයෙන් ගලවා හුදෙකලා කොට ප්‍රශ්න කිරීම 88-89 ගැන ප්‍රශ්න මතු කරන්නන් අතින් සිදුවන වරදකි. එමෙන්ම ඔවුන් අතින් සිදුවන ඊටත් එහා ගිය තීරණාත්මක වැරැද්දක් වන්නේ එම තරුණ නැගිටීම්වලට පසුබිම සකස් කල, එමෙන්ම එම නැගිටීම් කෲර ලෙස ලේ ගංගා මතින් මර්දනය කිරීමට ක්‍රියාකල එවකට ආණ්ඩු බලය හෙබවූ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක ප්‍රශ්න කිරීමට අමතක කිරීමය. 

88-89 අරගලයට පසුබිම් වූ හේතු සාධක පිලිබඳ අවධානය යොමු කරන අතරේම එම යුගය තුල සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් කණගාටුව පල කිරීම ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කොට තිබේ. 88-89 සිද්ධීන් සිදු වී අවුරුදු 34 ක කාලයක් ගතව ඇත. මේ දීර්ඝ කාල පරිච්ඡේදය තුල පැවැත්වූ මැතිවරණ පනහකට අධික සංඛ්‍යාවකට ජනතා විමුක්ති පෙරමුණ තරග කර ඇති අතර, ප්‍රධාන පක්ෂ දෙකට වෙනස්ව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රචණ්ඩත්වයෙන් තොරව දේශපාලනය කිරීමේ ආදර්ශය ඔවුන් විසින් පෙන්වා දී තිබේ. ලොව රාජ්‍යන් අති නවීන ආයුධ වලින් සන්නද්ධව ඇති මේ යුගය තුල සමාජ වෙනසක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හැර වෙන විකල්පයක් නැත. 

14. ජාතික ජන බලවේගය වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමට අපේක්ෂා කරයිද?

ලංකාවේ වත්මන් දේශපාලනය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ප්‍රධාන නිරීක්ෂණයක් වනුයේ අප රට පත්ව ඇති ඛේදනීය තත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන දේශපාලන ධාරා දෙකේ ප්‍රධාන පක්ෂ හා ඒ ප්‍රධාන පක්ෂ මත යැපෙන සුලු පක්ෂ විසින් ඇති කරනු ලැබූ අන්ත දූෂිත දේශපාලන සංස්කෘතිය බවයි. ප්‍රතිපත්තිමය ලෙස හා භාවිතාමය ලෙස කිසිදු වෙනසක් නැති මේ පක්ෂ සමග දීර්ඝකාලීනව රට පාලනය කිරීම පිණිස සන්ධානයකට යාම අතාර්කිකය, සිය දිවි හානි කරවන සුලුය. ජාතික ජන බලවේගය රට පාලනය කරනු පිණිස ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිදු පක්ෂයක් සමග සන්ධානයක් ඇති කර නොගනී. කෙසේ වුවද, මේ පක්ෂවල දේශපාලන කල වංචා දූෂණවලින් තොර අවංක පුද්ගලයන් හා පිරිස් සිටින බව අපි ප්‍රතික්ෂේප නොකරමු. එබඳු පිරිස්වලට ජාතික ජන බලවේගය විවෘතය. රට ගොඩගැනීම සඳහා අප සමග අත්වැල් බැඳගන්නා ලෙස ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

15. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ඇමති මණ්ඩලය කවරාකාරද?

මෙතෙක් කල් පැවැති ආණ්ඩු ඇමති ධූර නිර්මාණය කොට තිබෙන්නේ රටේ අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයන්ට වරප්‍රසාද හා වරදාන ලබාදීමේ අරමුණ සහිතවය. ජාතික ජන බලවේගය විසින් කරන පලමු වෙනස්කමක් වන්නේ එලෙස අවස්ථාවාදීව අමාත්‍යධූර නිර්මාණය කිරීම අවසන් කොට, විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ නිශ්චිත සංඛ්‍යාවක් සකස් කිරීමය. ඒ අනුව ඇමතිධූර සංඛ්‍යාව විස්සකට සීමා කෙරේ. රාජ්‍ය ඇමතිධූර, අධීක්ෂණ ඇමතිධූර ආදී ලෙස සකස් කොට තිබෙන වෙනත් නාස්තිකාර ව්‍යුහ අහෝසි කරනු ලැබේ. 

ජාතික ජන බලවේගය පුද්ගල චරිත මත නොව කණ්ඩායමක් ලෙස එම කණ්ඩායමේ සංස්කෘතිය, කණ්ඩායම් සදාචාරය හා කණ්ඩායම් දැක්ම මත බර තබන දේශපාලන ව්‍යාපාරයකි. පසුගිය දශක ගණනාවක් තුල ප්‍රධාන පක්ෂ දෙකේ විවිධ ආණ්ඩුවල ඇමතිධූර දැරූ පුද්ගලයන් හා සසඳන කල ජාතික ජන බලවේගය සතුව දේශපාලනික, අධ්‍යාපනික හා වෘත්තීමය විශිෂ්ටතාවයෙන් යුත් කණ්ඩායමක් ඇති අතර ඔවුන් අදාල සුදුසු මොහොතේ දී නම් කෙරෙනු ඇත. 2004-2005 යුගයේ ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍යංශ කීපයක වගකීම් ඉසිලූ අතර, කැපවීමෙන් හා ආදර්ශයෙන් යුක්තව අමාත්‍යංශ පවත්වාගෙන යාමේ කීර්තිමත් වාර්තාවක් ඒ සතුව තිබේ. මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු. 

16. දේශපාලන පරිවර්තනයක් තුල වියතුන්ගේ කාර්යභාරය කුමක්ද?

බොහෝ විට ‘වියතුන්’ යන්න නිශ්චිතව නිර්වචනය නොවන තත්වයක් තුල, පසුගාමී සමාජයක ‘වියතුන්’ වෙත ඇති වන්දනීය පිලිගැනීම කොල්ලකෑමට මේ වචනය යොදනු පෙනේ. පොදුජන පෙරමුණ විසින් පසුගිය කාලයේ නිර්මාණය කල ‘වියත්මග’ සංවිධානය යනු මේ කොල්ලකෑම සඳහා ඉදිරිපත් කල හැකි හොඳම උදාහරණයයි. සමාජ පරිවර්තනයක් තුල උගතුන්ට ද තමන්ගේ විශේෂඥභාවය ඇති විෂය ක්ෂේත්‍රය තුල යම් කාර්යභාරයක් පැවරෙන අතර බුද්ධිමතුන්ට ඊට වඩා පුලුල් කාර්යභාරයක් පැවරේ. එම මැදිහත්වීම ආකාර දෙකකින් කල හැක. එක්කෝ පොදු සමාජයට ඉහලින් සිටින කණ්ඩායමක් ලෙස එම මැදිහත්වීම කල හැක. නැතිනම්, පොදු සමාජයත් සමග එකට සිටිමින්, එකට වැඩ කරමින්, තම මතයන්ට හිමි ගෞරවය උපයා ගනිමින් කල හැක. විද්වතුන්ට හා බුද්ධිමතුන්ට දේශපාලන පරිවර්තනයේ කාර්යභාරයක් තිබෙන බව ජාතික ජන බලවේගය පිලිගනී. ඒ සඳහා අපගේ ප්‍රවේශය වන්නේ සමාජයට ඉහලින් සිටින පිරිසක් ලෙස විද්වතුන්ව ස්ථානගත කරනු වෙනුවට, ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී, ජනතාව සමග මුහු වෙමින් තම දායකත්වය ලබාදෙන පිරිසක් ලෙස ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමය. එලෙම කටයුතු කිරීමට සූදානම් විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් මේ වනවිට ජාතික ජන බලවේගය සමග අත්වැල් බැදගෙන තිබේ. 

17. ජාතික ජන බලවේගය ප්‍රමාණවත් ලෙස ‘ගමට ගොස් තිබේද’?

ජාතික ජන බලවේගය නිර්මාණය කිරීමේ අරමුණ වූයේ පලල් මහජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය. මේ වනවිට රට පුරා වන ඡන්දදායක කොට්ටාශ පදනම මත කොට්ටාශ සභා ජාලයක් ජාතික ජන බලවේගය නිර්මාණය කොට ඇත. ගමේ දේශපාලනය තුල මෙන්ම සමාජ ජීවිතය තුල නායකත්ව කාර්යභාරයක් ඉටු කිරීම කොට්ටාශ සභාවෙන් අපේක්ෂා කෙරේ. මේ වනවිට ගම් මට්ටමින් ජාතික ජන බලවේගය වෙත ඇති වී තිබෙන රැල්ල දෙස බලන විට අපිට පෙනී යන්නේ ගමට ගොස් නැත යැයි කියන නිගමනය එතරම් සාධාරණ නොවන බවය. කෙසේ වුවත්, යම් යම් ස්ථානවල ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීත්වයේ සීමාකම් තිබිය හැක. එම සීමාකම් ජය ගත හැක්කේ ජාතික ජන බලවේගය ඔබගේ ද ව්‍යාපාරය ලෙස සලකා තමන්ගේ ගමේ, වැඩපොලේ, බිම් මට්ටමේ එහි ක්‍රියාකාරීත්වයට ඔබ ද සම්බන්ධ වීම තුල හා එම අඩුපාඩු සකස් කරගැනීමට ඔබගේ දායකත්වය ලබා දීම තුලිනි. මේ රට ගොඩගැනීම ජාතික ජන බලවේගයේ මෙන්ම පුරවැසියන් ලෙස අප සියල්ලන්ගේ වගකීමය. 

18. ජාතික ජන බලවේගය ජනතාව අතරට ගෙන යාම සඳහා සාමාන්‍ය පුරවැසියන්ට කල හැකි දායකත්වය කුමක්ද?

දේශපාලනයේ තිබෙන අඩුපාඩු ගැන විවේචන ඉදිරිපත් කිරීම අපිට සුලබව දක්නට ලැබේ. නමුත් මේ එලැඹ තිබෙන්නේ හුදු විවේචන ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස්, දේශපාලනය වෙනස් කිරීම සඳහා පුරවැසි අප සියලු දෙනා දායක විය යුතු මොහොතකි. මේ සඳහා තිබෙන හොඳම මග ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ගොඩනැගීමට හැකි සෑම අයුරකින්ම දායක වීමයි. ජාතික ජන බලවේගයේ යාන්ත්‍රණයේ අපට අදාල ස්ථානවල දී සම්බන්ධව ක්‍රියාකිරීම අපට කල හැකි එක් ප්‍රධාන කාර්යයකි. ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් මට්ටමේ හා ආසන මට්ටමේ සංවිධාන ව්‍යුහයන් ඇමතීමෙන් මේ සම්බන්ධතා ගොඩනගා ගත හැක.

මීට අමතරව වෘත්තිකයන්ගේ කණ්ඩායම් ලෙස ද ජාතික ජන බලවේගය සංවිධානය වෙමින් පවතී (උදා- සරසවි ආචාර්යවරුන්, නීතිඥයන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්). එයද අපට ක්‍රියාත්මක වීමට ඉඩ ඇති තවත් අවකාශයකි. ජාතික ජන බලවේගය ගොඩනගන ව්‍යුහයන්ට සම්බන්ධව ක්‍රියා කිරීම හැරුණු කොට අපට, පුද්ගලයින් ලෙස කල හැකි තවත් ක්‍රියාකාරකම් ගණනාවකි. පවුලේදී, වැඩපොලේදී, අසල්වාසීන් හා මිත්‍රයන් සමග, සමාජ මාධ්‍ය තුලදී, දේශපාලන මත පලකිරීම, අප වෙත දිනාගත හැකි පිරිස් හඳුනා ගැනීම හා ඔවුන් සමග සංවාදය, අදාල මොහොතවල දී එම කණ්ඩායම් ජාතික ජන බලවේගයේ විවිධ මට්ටම්වල ඇති නායකත්වය මුණ ගැස්සවීම කල හැකි ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම්වලින් සමහරකි. ජාතික ජන බලවේගය දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැංවීම සඳහා ඇති එකම මාවත අප හැකි අයුරින් හැකි සෑම විටකම ක්‍රියාකාරී වීමය.